සිය සංවර්ධනයට හිමි නිසි වටිනාකම ලබා දී නිවැරදි අවබෝධයෙන් ඇමරිකාව කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි

චීනය හා ඇමරිකාව හවුල්කරුවන් මිස, ප්‍රතිවිරෝධීන් නොවිය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 26වනදා ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමු වූ විට අවධාරණය කළේය. ‍එමෙන්ම දෙරට එකිනෙකාට සහාය විය යුතු මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් හානි සිදු නොකළ යුතුය. පොදු අදහස් හඹා යමින් මතභේද පාලනය කළ යුතු අතර විෂම තරගය දියත් නොකළ යුතුය. මතුපිටින් පොරොන්දු දී ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක නොකිරීම නුසුදුසු බව ද ඔහු පවසා ඇත. එම අවස්ථාවේදී ඇමරිකානු පාර්ශ්වය චීනයට ලබා දුන් දේශපාලන පොරොන්දු යළි ප්‍රකාශ කළ අතර චීනය සමග අදහස් හුවමාරු පවත්වා ගෙන යමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ ස්ථාවර වර්ධනය පෙළඹවීමේ අපේක්ෂාව ද පළ කර ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ චීනයේ හා ඇමරිකාවේ ජනාධිපතිවරුන් සැන් ෆ්‍රැන්සිස්කෝහි හමුවීමෙන් පසුව දෙරටේ සම්බන්ධතාවය පහල යාමේ ප්‍රවණතාවක සිට ස්ථිර ඉහල යාමක් පෙන්නුම් කර ඇත. රාජ්‍යතාන්‍ත්‍රික, ආර්ථික හා වෙළඳ, නීති ක්‍රියාත්මක කිරීම, කෘෂිකර්ම, හමුදාමය යන ක්ෂේත්‍රවල සංවාද හා සහයෝගතා මාලාවක් පවත්වා තිබිණ. බ්ලින්කන්ගේ මෙවර චීනයේ සංචාරය දෙරටේ උසස් පෙළේ හුවමාරුවේ ප්‍රවණතාවට තවත් දිගුවකි.

මේ අතරම, චීන ඇමරිකා සම්බන්ධතාවයෙහි පවතින ඍණාත්මක සාධක වැඩි වනු දැකිය හැකිය. ඇමරිකාව විසින් චීනයේ ‘නව බලශක්ති නිෂ්පාදන ධාරිතා අතිරික්තය’ හුවා දැක්වීම, එරටේ බාහිර ආධාර පනතේ, චීනයේ තායිවාන ප්‍රදේශයට සම්බන්ධ කරුණු ඇතුළත් වීම, චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ ‘මානව හිමිකම් ප්‍රශ්නය’ පවතින බවට අපහාස කිරීම, ආසියා ශාන්තිකර කලාපය තුළ චීනය හිර කිරීමේ කවයක් ඇති කිරීමට උත්සාහ කිරීම, මේ සියල්ලෙන්ම චීන ඇමරිකා සම්බන්ධතාවයට විශාල ඍණාත්මක බලපෑම් එල්ල වී තිබේ.

චීන ඇමරිකා සම්බන්ධතාවයේ මූලික වර්ධන දිශාව පිළිබඳව යළි විමසා බලන ලෙස මෙවර බ්ලින්කන්ගේ සංචාරය තුළදී චීනය ඇමරිකාවෙන් නැවතත් ඉල්ලා සිටියි. මේ අතර තායිවාන ප්‍රදේශයට හමුදාමය සහාය නොදෙන ලෙසත් ඉල්ලීමක් කර ඇත. සිය ජනතාවගේ සංවර්ධන අයිතීන් අහිමි කළ නොහැකි බව ද චීන පාර්ශ්වය අවධාරණය කළේය.

චීනය කෙරේ වැරදි අවබෝධය නිවැරදි කර ගෙන චීනයේ සංවර්ධනයට නිසි ගරුත්වය ලබා දීම, සැබවින්ම ඇමරිකාව ප්‍රථමයෙන්ම සැලකිය යුතු කරුණක් බව පෙන්වා දිය යුතුය. 

WP Twitter Auto Publish Powered By : XYZScripts.com