‘චීන අසර්බයිජාන අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය’ ගොඩනගන බව දෙරට නායකයෝ ප්‍රකාශ කරති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින අසර්බයිජාන ජනාධිපති Ilham Heydar oglu Aliyev මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එය අද(23) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සිදු විය. චීන අසර්බයිජාන අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩනගන බව එහිදී නායක දෙපළ ප්‍රකාශ කළහ.

එකිනෙකාගේ මූලික අවශ්‍යතාවලට අදාළ කරුණුවලදී අන්‍යෝන්‍ය වශයෙන් ස්ථිරව සහයෝගය දැක්වීම චීනය සහ අසර්බයිජානය අතර පවතින යහපත් සම්ප්‍රදායක් බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. අසර්බයිජානය ජාතික ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට සහ සිය ජාතික තත්ත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට චීනයේ සහාය හිමි වේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමෙන් ‍රටවල් දෙකට ඵලදායී ප්‍රතිඵල අත්කර දී ඇති අතර දෙරටේ ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ  රාශියක් ගෙන දී තිබේ. එම වැඩපිළිවෙළ වඩාත් ගැඹුරු හා ප්‍රායෝගික ආකාරයකින් ඉදිරියට ගෙන යා යුතු අතර උසස් තත්ත්වයේ සංවර්ධනයක් අත්කර ගැනීමට දෙරටට එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට ඇත.

තීරුබදු යුද්ධ සහ වෙළඳ යුද්ධ සියලු රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට හානි කරන බව ඔහු පෙන්වා දුන්නේය. තම නීත්‍යනුකූල අයිතිවාසිකම් මෙන් ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික කරගත් ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කිරීමට, අසර්බයිජානය සමඟ එක්ව උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

අසර්බයිජානය සහ චීනය සැමවිටම එකිනෙකාට ගරු කරමින් විශ්වාස කරන බවත්, දෙරටේ සහයෝගීතාවය අඛණ්ඩව ගැඹුරු වී ඇති බවත් අසර්බයිජාන ජනාධිපතිවරයා එහිදී පැවසීය. තම රට “එකම චීනය” මූලධර්මය දැඩි ලෙස පිළිපදින අතර රට යළි එක්සත් කිරීම සඳහා චීන රජය ගන්නා සියලු උත්සාහයන්ට සහාය දක්වන බවද හෙතෙම කීය. ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද ‘පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය’ මෙන්ම ප්‍රධාන ගෝලීය මුලපිරුම් තුන, ලෝක සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා හිතකර වේ. අසර්බයිජානය ඒවා බෙහෙවින් අගය කරන අතර ඊට ක්‍රියාකාරීව සහාය දක්වයි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සංවර්ධනය සහ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩනැගීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

සාකච්ඡාවලින් පසුව, රාජ්‍ය නායකයෝ දෙපළ ” චීන මහජන සමූහාණ්ඩුව සහ අසර්බයිජාන ජනරජය අතර අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයට” අත්සන් තැබූහ. “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධව ගොඩනැගීම, අධිකරණ, හරිත සංවර්ධනය, ඩිජිටල් ආර්ථිකය, බුද්ධිමය දේපළ, අභ්‍යවකාශය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතා ලේඛන 20 කට අත්සන් තැබීම ද නායක දෙපළ ඉදිරියේ සිදු විය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com