බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකු මූලස්ථාන පරිශ්‍රය නිරීක්ෂණයට චීන ජනපති එක් වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(29) පෙරවරුවේ ෂැංහයි නගරයේ පිහිටි බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකු මූලස්ථාන පරිශ්‍රය නිරීක්ෂණයට එක් විය. එහිදී ඔහු එම බැංකුවේ ප්‍රධානි Dilma Rousseff මහත්මිය හමු විය.

‘මහා බ්‍රික්ස් සහයෝගීතාව’ උසස් තත්ත්වයේ සංවර්ධන අදියරට පිවිසි අවධියක නව සංවර්ධන බැංකුව ද උසස් තත්ත්වයේ සංවර්ධනය පිළිබඳ දෙවන ස්වර්ණමය දශකයක් ආරම්භ කළ යුතු බව ෂී ජින්පිං මහතා එම හමුවේදී පැවසීය.

මූලික අභිප්‍රායට අනුකූලව ගෝලීය දකුණේ සංවර්ධන අවශ්‍යතාවලට අවධානය යොමු කරමින් යටිතල පහසුකම් පිළිබඳ වඩා උසස් තත්ත්වයේ, අඩු පිරිවැය සහිත මෙන්ම තිරසර මූල්‍යකරණයක් සැලසිය යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දී ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල ඩිජිටල් පරතරය පියවීම හා එම රටවල හරිත සහ අඩු කාබන් පරිවර්තනය කඩිනම් කිරීමට සහාය වීම සඳහා, විද්‍යා තාක්ෂණ මෙන්ම හරිත ක්ෂේත්‍රවලට අදාළ මූල්‍ය ව්‍යාපෘති වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කළ යුතුය. 

ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවලදී ගෝලීය දකුණේ හඬ නගමින් එම රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ එහි නවීකරණයට සහාය වීමට අවධානය යොමු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. සත්කාරක රට ලෙස, චීනය සෑම විටම නව සංවර්ධන බැංකුවේ ක්‍රියාකාරිත්වය සහ සංවර්ධනයට සහාය වන ‍බව ඔහු පැවසීය.

නව සංවර්ධන බැංකුවේ සංවර්ධනය සඳහා චීනය දිගුකාලීනව ලබා දුන් ශක්තිමත් සහයෝගය වෙනුවෙන් මෙහිදී Dilma Rousseff මහත්මිය චීනයට ස්තුතිය පළ කළාය. වර්තමාන කැළඹිලි සහිත ලෝකය තුළ, චීන රජය ගෝලීය දකුණේ අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කර ඇති බවත්, බහුපාර්ශ්විකත්වයට දැඩි ලෙස සහාය දී ඇති බවත්, ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය දැඩි ලෙස ආරක්ෂා කර ඇති බවත් ඇය පැවසුවාය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com