චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

එළෙඹන 7වනදා සිට 10වනදා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය. එහිදී ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා සමග එක්ව නව තත්ත්වය හමුවේ දෙරට සම්බන්ධතාවය සහ ජාත්‍යන්තර හා කලාපීය ගැටළු සම්බන්ධයෙන් උපායමාර්ගික අදහස් හුවමාරු කර ගනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් අද(4) සඳහන් කළේය. නායක දෙපළ එළඹෙන වැදගත් එකඟතාවන්, චීන රුසියා අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් උපායමාර්ගික සම්බන්ධීකරණයේ හරය තවදුරටත් ශක්තිමත් කර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතා ද ප්‍රවර්ධනය කරනු ඇතැයි විශ්වාස කරන බව ඔහු සඳහන් කර ඇත. එසේම දෙරට ජනතාවට වඩාත් වැඩි ප්‍රතිලාභ  හිමි කරමින් ජගත් ප්‍රජාවට ද වැඩි නිශ්චිතභාවයක් හා ධනාත්මක ශක්තියක් එක් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටියේය.

මෙම වසරට, ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය, සෝවියට් සංගමයේ මහා දේශප්‍රේමී යුද්ධය මෙන්ම ලෝක ෆැසිස්‍ට්වාදී විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය යෙදී තිබේ. ඉතිහාසය මනාව සිහිපත් කරමින් දෙවන ලෝක යුද සංග්‍රාමයේ ප්‍රතිඵල, පශ්චාත් යුද ජගත් පටිපාටිය මෙන්ම ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය දැඩිව ආරක්ෂා කිරීම පිළිබඳව ෂී ජින්පිං ජනාධිපතිවරයා හා ව්ලැඩිමීර් පුටින් මහතා අතර එකඟතාවක් පවතී. මෙම සුවිශේෂ ඓතිහාසික අනුස්මරණ වර්ෂයේ, මොස්කව්හි පැවැත්වෙන සෝවියට් සංගමයේ මහා දේශප්‍රේමී යුද ජයග්‍රහණයේ සැමරුම් උළෙලට එක්වීම, මෙවර ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයේ වැදගත් අවස්ථාවක් බව ද එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.    

WP Twitter Auto Publish Powered By : XYZScripts.com