චීනය හා ලතින් ඇමරිකාව එක්ව ඉදිරියට ගමන් කරන ‍පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් බවට පත්ව ඇතැයි චීන ජනපති කියයි

චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් රාජ්‍යයන්හි ප්‍රජා (CELAC) සංසදයේ සිව්වැනි අමාත්‍ය මට්ටමේ සමුළුව අද (13) පෙරවරුවේ චීනයේ බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම සමුළුවේ සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළේය.

චීනය හා ලතින් ඇමරිකාව එක්ව ඉදිරියට ගමන් කරන ‍පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් බවට පත්වී ඇතැයි සත්‍ය තත්ත්වයන් ගෙන් පිළිබිඹු වී ඇති බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. එවන් සම්බන්ධතාවයේ පදනම, සමානත්මතාවෙන් යුතු සැලකීම වන අතර එහි ගාමක බලය අන්‍යෝන්‍ය වාසී හා පොදු ජයග්‍රහණයය. විවෘතභාවය හා සහයෝගය එහි ජීවගුණය හා ස්වභාවය මෙන්ම, ජනතාවට සුබසෙත ලබාදීම එහි මූලික පොදු අවශ්‍යතාව ද වෙයි. මේ අනුව චීන ලතින් ඇමරිකා සම්බන්ධතාවයට සවිබල ශක්තියක් හා පුළුල් ඉදිරි දැක්මක් හිමි වන බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

විපර්යාසයෙන් සපිරි යුගයක පවතින වර්තමාන ලෝකයේ විවිධ අවදානම් මතුවී තිබේ. ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කරමින් ගෝලීය සමෘද්ධිය ප්‍රවර්ධනය කළ හැක්කේ සමගිය හා සහයෝගය මගින් පමණය. තීරුබදු යුද්ධයෙන් හෝ වෙළඳ යුද්ධයෙන් ජයග්‍රහකයෙක් බිහි නොවේ. ආධිපත්‍යය හා දාමරිකවාදයෙන් හු‍දෙකලා තත්ත්වයට පමණක් පත්වනු ඇත. චීනය, ලතින් ඇමරිකානු රටවල් හා කැරිබියන් රාජ්‍යයන්‍ මෙන්ම, ගෝලීය දකුණේ වැදගත් සාමාජිකයන් ය. ස්වාධීනත්වය හා ‍ස්වෛරීභාවය අපගේ කීර්තිමත් සම්ප්‍රදායය. සංවර්ධනය හා පුනර්ජීවනය අපගේ පරම අයිතීන් ය. සාධාරණබව හා යුක්තිය අප‍ගේ පොදු අපේක්ෂාවය.

භූ දේශපාලනය හා කඳවුරු අතර ප්‍රතිවිරෝධතාවයේ ඉපිලීම හමුවේ ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂණවාදය මතුවී තිබේ. මේ තත්ත්වයට මුහුණ දීමේදී, චීනය ලතින් ඇමරිකාව සමග සමගිය, සංවර්ධනය, ශිෂ්ටාචාරය, සාමය, ජන හදවත යන පැති පහකින් සහයෝගතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටියි. එමගින් පොදු සංවර්ධනය හා පුනර්ජීවනය සාක්ෂාත් කරමින්  පොදු ඉරණමක් සහිත චීන ලතින් ඇමරිකා ප්‍රජාව එක්ව ගොඩනැගීමට දායකවීමට අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා පවසා ඇත.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනය සෑමවිටම ලතින් ඇමරිකාවේ හා කැරිබියන් රාජ්‍යයන්හී හොඳ මිත්‍රයෙකු හා හොඳ හවුල්කරුවෙකු වේ. සිය නවීකරණ ගමනේදී අත්වැල් බැඳගෙන පොදු ඉරණමක් සහිත චීන ලතින් ඇමරිකා ප්‍රජාවට නව පරිච්ඡේදයක් එකතු කිරීමට චීනය එම රටවලට ආරාධනා කරන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com