Lanka Plus News

www.lankaplusnews.com

අරාබි රටවලට චීනය අඛණ්ඩව සහාය වන බව චීන අගමැති කියයි

අරාබි රටවල උපායමාර්ගික ස්වාධිකාරය, එක්සත් බව හා ස්වයං යැපීම ශක්තිමත් කිරීමට චීනය සහාය වන බව චීන අගමැති ලී ච්‍යන් මහතා කයිරෝ නුවරදී ප්‍රකාශ කරයි. ඊයේ (09) අරාබි ලීග මහ‍ ලේකම් Ahmed Aboul-Gheit මහතා හමුවූ අවස්ථාවේදී හෙතෙම පෙන්වා දුන්නේ එම රටවලට ගැලපෙන සංවර්ධන මාවත් වෙනුවෙන් ද චීනය සහයෝගය දක්වන බවයි.

චීනය අරාබි රටවල් සමග සබඳතා වර්ධනය උපාය මාර්ගික ආකාල්පයකින් දකින අතර ඔවුන්ගේ සාධාරණත්වයන් වෙනුවෙන් දැඩිව සහාය පළ කරන බවද හෙතෙම කීය. චීනය හා අරාබි රටවල් විශ්වසනීය ‍මිතුරන් මෙන්ම යහපත් හවුල්කරුවන්ය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සහ අරාබි රටවල නායකයන්ගේ උපාය මාර්ගික මාර්ගෝපදේශ යටතේ වර්තමානයේ දී චීන අරාබි සබඳතා ඉතිහාසයේ හොඳම කාලයට ප්‍රවේශවී ඇතැයි ද චීන අගමැතිවරයා පැවසීය. දෙපාර්ශ්වය බලශක්ති, ආර්ථික හා වෙළඳාම, ආයෝජන හා මූල්‍ය යන අංශ මෙන්ම අභ්‍යාවකාශ ඇතුළු සෙසු ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමේ වැදගත්කමද හෙතෙම පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහ‍යෝගිතා සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය සහ ජී 20 වැනි වේදිකා තුළ අරාබි රටවල් සමග සංනිවේදනයන් වර්ධනය කරමින් සාධාරණ හා සමානත්ව ගෝලීය පාලන පද්ධතියක් වෙනුවෙන් පොදු හඬක් නැගීමට  චීනය සූදානම් බවද ‍ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා කීය.

එහිදී අදහස් දැක්වූ අරාබි ලීග මහ‍ ලේකම් Ahmed Aboul-Gheit මහතා පැවසුවේ චීනය අරාබි රටවල හොඳ මිතුරෙකු මෙන්ම හොඳ හවුල්කරුවෙකු ද බවයි. දෙපාර්ශ්වයේ සංවර්ධන හා ප්‍රායෝගික සහයෝගතා ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි ද හෙතෙම කීය. අරාබි පාර්ශ්වය එකම චීනය ප්‍රතිපත්තියට දැඩිව සහාය දක්වන අතරම චීන ජනාධිපතිවරයා යෝජනා කළ එක් තීරයක් එක් මාවතක් මුලපිරුම හා‍ ගෝලීය මුලපිරුම් තුනට ද සහයෝගය දක්වන බවද අරාබි ලීග මහ ලේකම්වරයා පැවසීය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com